Sunday, July 15, 2018

යළි ගමට ගිය ගමන


යළි ගමට ගිය ගමන

          මා ගම සිහි කරන්නේ ආදරණීය මතකයන් පිරිවරාගත් මහත් ආශාවකිනි. ආශාව යන වචනයෙන් මා මෙහි සිහිපත් කරන්නේ සොඳුරු නවාතැනේ මතක තෝතැන්නයි. "  බෙලිගල්ල " නමින් හදුන්වන මා ගම්පියස ළමාවියේ  අප ප්‍රාණවත් කළ, සුන්දර ස්ථානයක් විය. උදයේ ගස් අතරින් එබෙන ළහිරු මඩළ, විහග ගී, ඇළ දොළ, කුඹුරු වෙල්යාය ආදිය ගමට අපූර්ව ජීවයක් එක් කළේය.මෙය සිහිපත් කරන විටත් මා ගත ඒ ප්‍රාණයෙන් නැවත ජීවත් වන බවක් හැගේ.

          මීට වසර හතකට පෙර ගමින් පිටත්ව මා කොළඹ ප්‍රදේශයට පැමිණියේ පවුලේ මට සිටි එකම සාමාජිකයා වූ මවගේ මරණයෙන් පසුවය. ඉන් අනතුරුව රැකියාවට පැමිණ කොළඹ ප්‍රදේශයේම තරුණියක් විවාහ කරගත් මා නාගරික පරිසරයේ සාමාජිකයෙක් විය.

          යළි මා ගමට යාමට තීරණය කළේ මගේ එකම පුතුට ඔහුගේ නාතීන් ජීවත් වූ සුන්දර ගම්පියස දැකගැනීමටය. නාගරික පරිසරයේ හැදී වැඩුණු ඔහුට මේ ගමන අලුත්ම අත්දැකීමක් වනු ඇත. ඔහු වෙනදාටත් කලියෙන් නින්දට වැටුනේ උදෑසන යන ගමන ගැන නො ඉවසිල්ලෙන් හා මහත් ප්‍රීතියකින් බව මට වැටහුණි.

          " සමන් නිදාගන්නෙ නැද්ද, උදේම පිටත්වෙන්නත් තියෙනවා.දන්නවද පුතා හරිම ආශාවෙන් ඉන්නෙ හෙට ගමන ගැන,"

          " මම අවුරුදු කීයකට පස්සෙද ආපහු ගමට යන්නෙ, යමුන ඔයා ගිහින් නිදාගන්න, මං මේ බඩුටික ලෑස්ති කරල නිදාගන්නම් " යැයි කී පසු ඇය නින්දට ගියේය.

          සියල්ල සූදානම් කර අවසන්ව මා සන්සුන්ව ඇදට ගොස් වැටුණේ හෙට ගමන ගැන සිතමිනි.

          මෝටර් රථය වේගයෙන් මහනුවර පසු කරමින් දහඅට වංගුව බහින්නට වූයේ තරමක් මන්දගාමීවය. ඒ වේගයෙන් රිය ධාවනයේ යෙදීම එම මාර්ගයේ  තරමක් අපහසු කාර්යයක් වන නිසාය. පාන්දරින් පිටත්වූ නිසා එම ප්‍රදේශය පසු කරන විට උදෑසන 7ට පමණ ඇත. කදුබෑවුම් එකිනෙකට යා කරන මීදුම් පටලයකින් මාර්ගය තරමක් වැසීගිය නිසා මෝටරථයේ ආලෝකයෙන් මා සීරුවට  මග සකසාගෙන දහඅට වංගුව බැසගත්තේය.

          " පුතාට නින්ද ගිහින් වගේ " මම යමුනා දෙසට හැරී ඇසුවෙමි.

          " ඔව් මහන්සියටත් එක්ක හොදට ම නින්ද ගිහින් " යසස්ගේ හිස අතගාමින් ඇය කීවාය.

          හසලක, මහියංගනය නගරය පසු කරගත් අපට බෙලිගල්ලට උදෑසනින් ම ළගාවිය හැකිවිය. මෝටරථය ධාවනය කරන මා නිතර වටපිට බැලුවේ මේ වසර කිහිපය ඇතුලත ගම කෙතරම් වෙනස්වී ඇත්ද යන්නයි. ඉබේටම මා අතින් රිය නතර වූයේ නිවසට යන පාර ළගදීය. මොහොතක් ඒ දෙස බලා සිටි මා නිවස දෙසට මෝටරථ හැරවිය. පෙරදින දුරකථන ඇමතුමකින් නිවසේ දැනට නතරවී සිටින ජිනදාසට අපගේ පැමිණීම කල්තියා දැනුම්දුන් නිසාවෙන්දෝ අප එන පෙරමගට පැමිණියේ බුලත්විටකින් සැරසුනු මුවගට සිනහරැළි නංවමින්ය. මෝටරථයෙන් බැසගත් මා ඔහු ඉදිරියේ පෙනී සිටියේ කියාගත නොහැකි තරමේ අමුතු හැගීමකිනි.

          " ජිනදාස මාමෙ කොහොමද?, හොදින් ඉන්නව නේද ? " යනුවෙන් මම ඇසුවෙමි.

          " අනේ ඔව් සමන් පුතා මං ඉතින් මේ තියෙන වැඩක් කරගෙන ඉන්නවා. පුතා දකින්න ලැබුණු එක කොච්චර සතුටක්ද?, ගොඩක් කාලෙකට පස්සෙනෙ "

          නිවස බලාකියා ගැනීමට ජිනදාසට ගෙවන මුදලට වඩා ආදරයකින් ඔහු අපේ නිවස බලා ගනී. මා කිසිදින එය විකුණා දමන්නේ නැත. මගේ කුඩාකළ මතකයන් රැදී ඇත්තේ මෙහිය. ඔහු අප කැදවාගෙන ගෙතුලට ගියේය. මුහුණකට සෝදාගත් අපි උදේ ආහාරය සදහා ජිනදාස අපි වෙනුවෙන් ම පිළියෙළ කළ කිරිබත් අනුබව කළෙමු.ඒ අතර යසස් අත්තටු ලැබ ඉගිලෙන්නට හදන කුරුලු පැටවෙකු මෙන් ඒ මේ අත දුවපනී.

          මා දැන් සිටින නිවසට වඩා මෙහි පහසුකම් අඩුවූවත් අම්මා සමග ගෙවූ ඒ ජීවිතයට යළි කිසිදින පණ දිය නොහැකි බව දන්නා මගේ ඇසට කදුලක් ආවේ නොදැනිමය.ජිනදාස මාමා සමග මමත් යමුනාත් ආගිය තොරතුරු කතාබහ කරේ අලුත් ම රසයක් විදිමිනි.

          " ජිනදාස මාමේ මේ කාලෙට ගම හරියට වෙනස්වෙලා නේද?, මම එනකොට දැක්කෙ, ප්‍රධාන පාර දෙපැත්තෙ හරි අපූරුවට කාටත් සෙවනක්ව තිබුණු ගස් ටික අතුරුදන් වෙලා කියල " සමන් කීවේය. එ පමණක් නොව පිදුරු, උළු සෙවිලි කළ මැටි වරිච්චියෙන් තැනුණු ගෙයක් සොයා ගැනීම පවා දැන් දුෂ්කරය. නනාප්‍රකාර වර්ණයෙන් ඔප දැමූ අලුත්ම පන්නයේ නිවාස පෙළකි. මම ජීවත්වූ සාම්ප්‍රදායික ගම්පියසේ අසිරිය යසස්ට ඒත්තුගැන්වීමට නොහැකිවීම ගැන මා තුළ ඇතිවූයේ කණගාටුවකි.

          ජිනදාස මද සිනහවක් පෑ නමුදු කිසිත් නොකීවේ දැන් අපේ කාලය අහවරය, මේ කාලයේ පරපුරට සියල්ල වෙනස්වෙමින් ඇති බවය. නිවස පහළ වත්ත දිගේ ඇවිද ගියේ ඒ කාලයේ අම්මා සමග එක්ව යන මා මඩ තැවරුණු පුංචි පුංචි ළියදි දිගේ කළ සෙල්ලම් කිසිදා මතකය හැරදා නොයන බැවිනි. ඒ මතකයන් අවදි කරන්නට මා ගත් ප්‍රයත්නය නිෂ්ඵල වූ බව දැනෙත්ම හදවත රිදුම් කන්නට වූයේ මතක මා හැරදා ගොස් තිබුණු බැවිනි. මඩ පිරුණු ළියදි පුරවා ඒ බිමෙහි විවිධ හැඩගත් අලුත් නිවාස කිහිපයක් ඉදිව ඇත. ඒ නාතීන්ගේ ම මිස වෙනකෙකුගේ විය නොහැකිය. හිස බිමට නවාගත් මා නැවත නිවස දෙසට ගියේ අමුතු හැගීමකිනි.

          " තාත්තේ මෙහෙ ලස්සන පාට කුරුල්ලො ඉන්නවා, මට ගෙදර අරන් යන්න පුළුවන් වෙයිද? " ඔහු බැගෑප්ත්ව කළ ඉල්ලීම කිසිසේත්ම අහක දැමිය නොහැකි නිසාත් කුරුල්ලන් කූඩු කළ නොහැකි නිසාත් මා හිස සලා තැනට උචිත ලෙස ක්‍රියා කළේය.

          අපි තීරණය කරගත් පරිදි සවස් වරුවේ ගමේ සුන්දරම ස්ථානය වූ කුඹුරු වෙල්යාය නැරඹන්න යාමට සැරසුණෙමු. ඒ පිළිබඳව කිසිම අදහසක් අත්දැකීමක් නැති යසස් තොරතෝංචියක් නැතිව ප්‍රශ්න කරයි.

          " අපි දැන් කොහෙද යන්නෙ තාත්තෙ, එහෙ කවුද අපිට ඉන්නෙ "

          " පුතා යමුකෝ අපි බලන්න, පුතාට හොදට පීන පීන මාළුවෙක් වගේ නාන්න පුළුවන් තව කුරුල්ලො ගොඩාක් බලන්නත් පුළුවන් " මා යසස් දෙස බැලුවේය. ඔහු මා දෙස බලා සිටි ආකාරයට ඔහු කෙරේ දැඩි ආදරයක් ඇතිවිය. නගරයේම ජීවත් වූවත් යමුනා ගැමි පරිසරයට සාම්ප්‍රදායික ජන ජීවිතයට ආලය කරන බව ඇගේ ඇතැම් කතාබස්වලින් මට තේරුම් ගිය කරුණකි . නමුත් දැන් මගේ ගමෙන් අතීත සුවදයන් පිටවගොස් නිසා යමුනාගේ සිතින් කරන ආදරය මගේ ගමට ලැබේවිද යන්න කිව නොහැකිය.

          අපි තිදෙන ගෙවල් කිහිපයක්ම පසු කරමින් කුඹුරුවලට ජලය ගෙනයන ඇළපාර දිගේ වෙල්යායේ කෙළවරට පැමිණියෙමු. මා ගමට පැමිණියේ අස්වනු නෙළන කාලයේ බව මා දැනගත්තේ එවිටය. නමුදු මා ටික වේලාවක් එක එල්ලේ බලා සිටියේ මෙහි සිදුවන්නේ කුමක්ද කියා සිතා ගැනීම තරමක් අපහසු වූ බැවිනි.

          " තාත්තෙ මොකද්ද අර පෙට්ටිය " යනුවෙන්  ඔහු ඇසුවේ ළියද්දක් මත ක්‍රියාකරමින් තිබුණු යන්ත්‍රයක් දකිමින්ය.මීට පෙර මා ද දැක නොතිබුණු මෙය කුමක්ද යන්න හරිහැටි වටහාගත නොහැක්කකි.

          වෙල්යායේ එක් තැනකට වී විඩාව නිවාගන්නා ගැමියෙක් අසලට ගිය අපි ඔහුට සුහදශීලි බවක් පෑවේය.

          " මේ මහත්තයනෙ මේ..අප්පේ කොච්චර කාලෙක්ට පස්සෙද " කියමින් ඔහු යසස් හා යමුනා දෙස බලා සිනාසුණේය.

           ඔහුගේ කතා විලාසයෙන් මා අදුනාගත්තේ මේ අපි කවුරුත් සමග මිත්‍රශීලී නන්දසේන මාමා බවය.

          " අපි උදේ තමයි ගමට ආවේ, පුතාට අපි විදපු සාම්ප්‍රදායික ජීවිතයේ සුන්දර තැන් පෙන්නන්න හිතගෙන ආවට ඒ දේවල් දැන් වෙනස් වෙලානේ " යැයි කියූ මම අර යන්ත්‍රය දෙසට අත දිගු කළෙමි.

          " ආ....ඒක තමයි දැන් කුඹුරුවල ගොයම් ටික කපල වී ටික අපිට ඉක්මනින් ගන්න තියෙන යන්තරේ " යනුවෙන් ඔහු පැවසුවේ ඉතාමත් සැහැල්ලුවෙන්‍ ය. මා ඔහු වෙතට මද සිනහවක් පෑය. අපි නන්දසේන් මාමාට සමුදී ඇළ පාරට යෑමට ඉදිරියට ගමන් කළෙමු. මේ අතර යසස් ඒ මේ අත දුවනවිට මට මාගේ කුඩා කළ සිහිවිය. ඒ කාලයේ මා වින්දේ දැන් යසස් විදින අත්තැකීම්වලට එහාගිය එකකි.

          අම්මා ගොයම් කැපීමට පෙරදින බුලත් හුරුල්ලක් ගෙන ගොස් අවශ්‍ය වන තරමේ මිනිසුන් ප්‍රමාණයකට ආරාධනා කරන්නීය. පසුදින ආරාධනාව පරිදි පැමිණි පිරිස නැකත බලා සුබ දිශාවට අනුව උදෑසනම ගොයම් කැපිල්ල පටන්ගනී. කාටත් විඩාව නොදැනිමක් ඇතිකළේ පුංචි අප්පුහාමිය. ඔහු කවි බදින්න උපන් හපන් ඇත්තෙකි. ගොයම් කව් තාලයට ගැයෙද්දී වෙල්යාය පුරා ඒ හඩ විහිද ගියේ මද සුළගට මුසු වෙමිනි.

          " උදය සිටන් වකුටු කොන්ද දිග හැරපල්ලා

            අතේ තියන ගොයම් මිටිය බිම දමපල්ලා

            හිසේ තියන ලේන්සු පොඩිය අතට ගනිල්ලා  

            සතර වරම් දෙවි පිහිටෙන් ගොඩට යමල්ලා "   
       
          ඇඹුල ගෙනා පසු කවුරුත් නෙළුම් පතට ඇඹුල බෙදාගනී. එය වෙනදා ගෙදර කන කෑමට වඩා රසවත් කෑම වේලකි.ගොයම් කපා අවසානයේ කමතේ කොළ මඩින්නේ අම්බරුවන් දක්කමිනි. ඊට පෙර කමතේ යකඩ කැබැල්ලක්ද පළමු ගොයම් පිඩ ගෘහ මූලිකයගේ ප්‍රධානත්වයෙන් සිදුවන්නේ එය අතීතයේ සිට පැවතගෙන එන සාම්ප්‍රදායික ගැමි සිරිතක් වූ බැවිනි. රැය පහන් වනතුරු කරන මේ කාරියේ කවි ගී ගැයේ. රාත්‍රියේ කමතට වී පැඩුවන් උඩ දුව පනිමින් රාත්‍රිය ගෙවන්නට මහත් ආශාවක් දැක්විය. එයින් පසු දින සුළගේ ආධාරයෙන් බැත හුළං කරගනු ලබයි. ඒ බැතවලින් මුල් කොටස දෙවියන් සදහා වෙන් කිරීමට අම්මා කිසිදා අමතක නොකරයි. අපේ ආහාරය සදහා ඉතිරිය පසුව භාවිතායට ගත්තේ.

          අද මේ උතුම් කාරිය එක් යකඩ ගොඩකට පමණක් සීමා වී තිබේ. ගමේ කාලයක් පැවතගෙන ආ ගොවියන්ගේ ජීවිතය හා බැදී තිබුණු සාම්ප්‍රදායික ගැමි සිරිත්විරිත් සමුදාය උඩුයටිකුරු වී පවතී. මේ වෙනස මුල් ගම්වාසීනුත් වැළඳගත්තේ නම් අලුත් පරපුරට සාම්ප්‍රදායික සිරිත්විරිත්වල රසය කිසිදා නොලැබෙන්නේය. මේ පරිසරය විදි මට ගම හා නගරයේ දැන් පවතින වෙනස කුමක්ද යන්න වටහාගැනීම අපහසුය.

          ඇළපාර ළගට පැමිණි අපි ඇළ බැම්මේ වාඩිවී වතුරපාරට කකුල් ඔබා සිටියේ මාළු පැටවුන්ට කෑමට මෙනි. යසස් වේගයෙන් ජල රැළ්ලට ගසන්නට වූයෙන් මගේ මුහුණ පුරා වේගයෙන් ජල පාරක් වැදුනි.

          මා තිගැස්සී අවදිවූයේ එවිටය. විගස ඇදෙන් බැසගත් මම ඔරලෝසුව දෙසට හැටුනේ වෙලාව කීයදැයි බැලීමටය. එවිට පාන්දර 2.30 වී තිබුණි. මා යමුනා ළගට ගොස් ඈ අවදිකර පාන්දරින් ගමට යෑමට කඩිමුඩියේ අපි සූදානම් වීමු.



                                                                               
                                                                               ඩී.එම.කේ.දිල්රුක්ෂි දිසානායක

                                                     2018/07/15



2 comments: